Translate

Saturday, July 26, 2014

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

රට ගිය ඇත්තෝ

මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටම තේරෙන්නෙ නැහැ.
අපි මෙහෙම පටන් ගමු. මගේ නම සමන්. සමන් ජයසිංහ. ගම කඩවත.
මම සිංහ සමාජයේ සාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක්
සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට (අ)වාසනාව පෑදුනා. ඇමරිකන් උණ සෑදී
වලිප්පුව සෑදී සිටි මම ආපසු ආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට් උනා.
දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන
ආපහු යනවා.
මට රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක. ගෑස් ස්ටේෂන්
කියන්නේ පැට්‍රල් ෂෙඩ්.
පැට්‍රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි
කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පු දෙකක්
දෙපයට දාගත්තු බුලත් හපයෙක්.
ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක්
තියෙනවා. ටයි එකකුත් දාන්න ඕන.
මෙහේ ( ගෑස්) පැට්‍රල් ගහන්නේ වාහනය පදවන්නාමයි. පොම්ප
10 ක් 12 ක් විතර තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස්
ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල්
ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය විවුර්ත කරන එකයි. ඊට
අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු
විකුණන මිනි මාකට් එකකුත් තියෙනවා.
මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි
රස්සාවල්. තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්‍රමාණවත්.
වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදී සංක්‍රමණිකයන්. මට බැංකු ගිණුමක්
අරින්නවත් , වාහනයක් එළවන්නවත් බැහැ. not authorized to work කියල
පාස්පෝට් එකේ ගහල තියෙනවා. නිකමට හරි පොලිසියට මාට්ටු වුනොත් ඩී- පෝට්
තමයි.
ඇමරිකන් ඉංග්‍රීසිය අමුතු ඉංගිරිසියක්. උන්ගෙ “ඇ” කාරය
වැඩි. ඩාන්ස් – ඩෑන්ස් ,… ක්ලාස් – ක්ලෑස්.. පාස් – පෑස් වගේ. ඒ අනුව මගේ
නම සමන් :…. සැමන් විය යුතුය. ඒත් උන් මගේ නම වෙනස් කෙරුවා ” සෑම්”
කියලා. මම සැමන් නොවී සෑම් වීම ගැන සතුටු උනා.
ගෑස් ස්ටේෂන් එක ඇතුලේ තියෙනවා කස්ටමස්ලට යන්න
වැසිකිළියක්. ඒවාට කියන්නේ “රෙස්ට් රූම් ” නැත්නම් “වොෂ් රූම්” කියලා.
ඇමරිකාව කියන්නේ ගෙදරට මරගාතෙ- ලෝකෙට පරකාසෙ කරන රටක්.
මෙහේ තරම් හිඟන්නෝ නැතිව ඇති ලෝකෙ කොහේවත්. මුන්ට කියන්නේ “හෝම්ලස්
පීපල්” කියල. “බෙගර්ස් ” කියන වචනය පාවිච්චි කරන්නෙ නැහැ.
අ. පො. ස. විභාගයේදී මට විශිෂ්ට සම්මාන තියෙනව ඉංග්‍රීසි
භාෂාවට සහ සාහිත්‍යයට. ඊට අමතරව උසස් ආයතනයකින් ලද සහතිකයකුත් තියෙන නිසා
මා හිතා හිටියේ මා තරම් ඉංග්‍රීසි උගතෙක් තවත් නැතිව ඇති කියාය. එහෙත් මා
කියනා දේ මුන්ට නොතේරෙයි. උන් කියනා දේ මටද නොතේරෙයි.
ඒ නිසාම මට දී තිබුනේ කස්ටමර්ලා අඩු රෑ සේවා මුරයයි.
දිනක් එක් හෝම්ලස් මිනිහෙක් ඇතුළට ඇවිත් ” may I use
your rest room ” කියල මගෙන් ඇහුවා.
“rest room only for customers” කියලා මම මිනිහව එළවා
ගත්තා. මගෙ තාත්තගේ වයසේ මිනිහෙක්. මට පස්සෙ දුක හිතුනා. උගෙ මූන
අමුතුයි. හමේ පාට සුදුත් නෙවෙයි.. කලුත් නෙවෙයි. ඇස් දෙක පැහැදිලියි.
බැල්ම තියුණුයි.
පසුවදා සුපුරුදු රෑ ෂිෆ්ට් එක නිම වෙලා මම පයින්ම මගේ
නවාතැනට ගාටමින් හිටියා. වෙලාව උදේ 7.30 ට විතර ඇති. පාර අයිනෙ බංකුවක්
උඩ හෝම්ලස් මිනිහෙක් ඉඳගෙන හිටියා. මිනිහා මොනවද තාලෙට කියනව මට ඇහුනා.
” ඩූව් ඩීමට් කාරෙ බෙන්ඩා…” ටිකක් පුරුදු හඬක්. ඒ අර මම
එළව ගත් මිනිහා. මම මිනිහට කිට්ටු කළා.
හලෝ.. are you singing ?
මිනිහ පැහැදිලි ඉංග්‍රීසියෙන් ” cold….can you buy me a
coffee ? මිනිහගේ කකුල් දෙකම වන වෙලා. ඒවාට දැමූ දම් පාට බෙහෙතට උඩින්
සාරෙ ගලමින් තිබුණා. මම වහාම කෝපි එකක් අරන් දී,
” are you sick?”
“I am having cold and fever”
මගේ සාක්කුවේ ලංකාවෙන් ගෙනා පැනඩෝල් පෙති වගයක් තිබුණා.
ඉන් දෙකක් මම මිනිහට දුන්නා.
” Panadol ? are you sri lankan ?”
” my god ! are you sri lankan too ?
දිග සුසුමක් හෙලූ එයා මොනවදෝ කියන්න ලෑස්ති උනා.
මට මහන්සියි. නිදිමතයි. අපි පස්සෙ හමුවෙමු කියල , රෑ
ෂිෆ්ට් එකෙන් මාටියා ගහපු ඩොලර් කීපයක් මම මිනිහගේ අතේ තියල නවාතැනට
ගියා.
රෑ නිදි වරා සිටියත් උදේ සිදුවූ දේ නිසා මට නින්ද ගියේ නැහැ.
කොහොමටත් රෑ නින්ද වගේ නෙවේ දවල්ට නිදා ගන්න එක.
ඊට පස්සෙ දින කීපයක් යන තුරු මම මිනිහව දැක්කෙ නෑ.
එදත් සුපුරුදු පරිදි මගේ රෑ ෂිෆ්ට් එක. හදිසියේම ” අරයා”
ආවා. රෑ 12.30 ට විතර. ඇතුලට නෑවිත් වීදුරු ජනේලෙන් මා දිහා ඔරවා ගෙන
හිටියා. ඔහුගේ රැවුල , කොන්ඩේ දිගටම වැවිලා තිබුනා. වැඩි හරියක් සුදු
කෙස්.
ඒ වෙලාවේ කස්ටමර්ලා අඩුයි. මම කෝපි එකකුත් හදාගෙන මිනිහ ළඟට ගියා.
” Are you speaking Sinhala ?” මිනිහා මගෙන් අහනව.
” මම හිතුවේ සෑම් මහත්තයා ඉන්දියන් හරි මෙක්සිකන් හරි
කියල. ලංකාවෙ කොහේද ?”
මටයි මිනිහගේ විස්තර දැන ගන්න ඕන. මිනිහ මං ගැන අහනව.
මෙතන ඉඳල ලියන්නම් ඔහු මට කී කතාව.
මගේ නම සිරිල් සපරමාදු. මගේ වයිෆ් පද්මිනී. අපි හෝමාගම.
ලොතරැයි දිනුම් වලින් හරි ගියේ කීයෙන් කීදෙනාටද සෑම්
මහත්තයෝ. මටත් ඇදුනා ලොතරැයියක්. වීසා ලොටරි එක. දැනට අවුරුදු 25 කට
ඉස්සර මම මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක්. මගෙ වයිෆ් ගුරුවරියක්. අපි
ලංකාවෙ හොඳ ජීවිතයක් ගත කළා. ඇමරිකන් එම්බසියෙන් ලියුම ආදා ඉඳල සතියක්
අපේ ගෙදර ලිප පත්තු උනේ නෑ සෑම් මහත්තයෝ. අපෙ සේරටම ඇමරිකන් උණ හැදුනා.
අපිට ළමයි තුන් දෙනයි. වැඩිමළා පුතා ඊළඟට දූලා දෙන්නා. අපි මෙහේ එනකොට
පුතාට 7 යි. දූලට 6 යි, 5 යි. අපි තිබ්බ සේරම සේසත විකුණලයි ආවෙ.
මාත් ඔයා වගේ ගැස් ස්ටේෂන් එකක වැඩ කළා. වයිෆ්ට
මොන්ටිසෝරියක රස්සාව ලැබුණා. අපි දෙන්නාගෙ පඩියෙන් පවුලක් නඩත්තු කරන්න
අමාරු නිසා මම ජොබ් දෙකක් කළා. ඒක හරිම අමාරු වැඩක්. හිතේ වේගෙට කළාට මම
නිතර නිතර ලෙඩ වුනා.
විවිධ හැල හැප්පීම් මැද කාලය ගෙවී ගියා.
පුතා නම් ඉගෙනීමට වැඩි උනන්දුවක් පෙන්නුවෙ නෑ. දූල
දෙන්නම ” මාස්ටර්ස්” දක්වා ඉගෙන ගෙන දෙන්නම ඇමරිකන් කාරයො දෙන්නෙක් එක්ක
විවාහ උනා.
ඒව නිකම් ” නමට විවාහ” ලාස් වේගාස් වල තියෙනව ” drive
through ” කසාද බඳින්න තැනක්. ලොකු දුව වෙන ස්ටේට් එකකට ගියා පදිංචියට.
ඉන්න තැනක අපි කාටවත් කීවෙ නැහැ.
පුතා මෝටර් මෙකැනික් කෝස් එකක් කරල මෝටර් රත හදන
කොම්පැනියකට බැඳුනා. මිනිහට හොඳයි. හැබැයි නාස්ති කාරයා. බීමට ඇබ්බැහි
උනා. ඉතිරියක් , අනාගතයක් ගැන හිතුවෙ නැහැ.
පොඩි දුවට බබා ලැබිල අවුරුදු 5 කට පස්සෙ අපිව එක්ක ගියා
එයාලගෙ ගෙදරට. අපි එහේ හිටියේ ආගන්තුකයෝ වගේ. මගෙ වයිෆ්ට නම් වැඩ තිබුනා.
ඒ මිනිපිරී – නිකෝල් – බලා ගන්න එක. කෙලීට තිබුනේ නිල් පාට ඇස් දෙකක්.
සුදු පාට හමක්. කොන්ඩෙ නම් කලු පාටයි. ටිකක් මගෙ වයිෆ් පද්මිනිත් වගෙයි.
සමහර දාට නිකෝල් මගෙ උනුහුමට තුරුල් වෙලා නිදා ගත්තා. මම ඇගේ හිස පිරි
මැද්දා. ඈ ඊට ආසා කළා. මම ඈට ” කිරි සුදු හාවා” ඉගැන්නුවා.
දවසක් අපේ බෑණා – මයික් පියර්සන්- අහනව මගෙ දුවගෙන් what
the hell that old man doing here කියල.
Don’t talk like that. He is may dad. ඒ මගෙ දුව.
But this is my house– ඒ බෑණා.
OK I will ask them to leave. You can hire a baby
sitter for 600 dollars for a week.
මම එදා හිතා ගත්තා මම තව දුරටත් මෙහේ හිටියොත් ඒක
මෙයාලගෙ පවුල් ජීවිතයට බාධාවක් කියල.
” පද්මිනි… මම යනව පුතා ළඟට. ඔයාට මෙහේ කරදරයක් නැහැනෙ.”
අපි දෙන්නා බැන්දට පස්සෙ කවදාවත් වෙන් වෙලා ඉඳල නෑ. එයා
කඳුලු පුරවා ගෙන මා දිහා බලා ගෙන ඊට කැමැත්ත දුන්නා.
” මතක් කරල බෙහෙත් ටික අරගෙන යන්න”
පුතා ජීවත්වුනෙ single bed room අපාර්ට්මන්ට් එකක. මිනිහ
මාව සතුටෙන් පිළිගත්ත. ඒත් වැඩි විස්තර ඇහුවෙ නෑ. ඒ එයාගෙ හැටි.
මම ගිය ගමන්ම කළේ ගේ අස් කරන එක. පුතා කැම බීම කරල
තියෙන්නෙ පිටින්.
” තාත්ත බියර් එකක් බොනවද?” පුතා බියර් බෝතලයක් කටේ
තියාගෙන බොන ගමන් මගෙන් ඇහුව. මම මගේ තාත්ත ඉස්සරහ වාඩිවෙලාවත් නැහැ.
මම මටම සාප කර ගත්ත. දුර දිග නොබලා ගත්තු තීරණ නිසා අද
අපේ පවුල සී සී කඩ. දරුවන් දෙමාපියන් අතර සම්බන්දයක් නැහැ. දරුවො හිත්
පිත් නැති මැෂින් වගේ. රොබෝල වගේ.
මම මාකට් එකට ගිහින් පුංචි රයිස් කුකර් එකක්, තේ හදන්න
අවශ්‍ය කරන දේ සහ තවත් දේ ගෙනාවා.
” පුතා මීට පස්සෙ පිටින් කෑම කන්න එපා. අද ඉඳල මම උයනව”
“ඉතින් කොහොමද මේ තත්ත්වෙට වැටුනේ ?” මම එයාගෙ කතාවට බාධා කලා.
” අනේ සෑම් මහත්තයෝ, මං ගැන කාටවත් කියන්න එපා. ඒක අපේ
රටට කරන අගෞරවයක්.”
පුතා මගෙත් එක්ක මුලින් හොඳට කතා බහ කළා. පස්සෙ පස්සෙ
අහන දේට විතරක් උත්තර දුන්න. සුමානයක් දෙකක් යනකොට මට එයාගෙ වෙනසක්
තේරුනා. මිනිහ මාව නොරුස්සන ගතියක් මට දැනුන.
එදා ජූනි 15. පුතාගෙ උපන් දිනෙ. මම උදේම නැගිටල කිරිබත්
ඉව්වා. පුතා කිරිබත් කන්න හරි ආසයි.
” පුතා අද කලින් ගෙදර එන්න. මම ඩිනර් ලෑස්ති කරනව.”
මට හොඳට උයන්න පුලුවන්. මම කහ බතක් උයල චිකන් උයල,
පරිප්පු වේලෙන්න උයල, ලූනු සම්බෝලයකුත් හැදුව. පුතා ආවෙ නැහැ. මම රෑ 11
වෙන තුරු බලා ඉඳල තනියම කෑම කෑවා.
තව ටිකක් බලා හිටියා. මට දන්නෙම නැතිව ඉඳගෙන හිටි
පුටුවෙම නින්ද ගියා. පුතා තව කට්ටියක් එක්ක එනකොට පාන්දර 3.00 ට විතර
ඇති. සේරටම හොඳටම වෙරි.
උන් ළඟ වස ගඳයි. මරිජුවානද මොනවද ගහල. සාලෙ ලයිට් පත්තු
උනා. එකෙක් අහනව “Who the fuck is this ?” කියල.
“Are you living with your dad ?” ඒ තව එකෙක්.
මම දවසක් පුතාගෙන් ඇහුව ” පුතාට මම ඉන්න එක කරදරයක්ද ?” කියල.
” කරදරයක් නම් නෑ. ඒත් යාලුවෙක් වත් ගෙන්න ගන්න විදිහක්
නෑ. “I too have a life තාත්තෙ”
මට දැනුන ලොකු විනාශයක් අත ළඟ කියල. මම දවස් කීපයක්ම
පොඩි දුවටත්, පද්මිනීටත් කෝල් කරන්න උත්සාහ කළා. එයාලගෙ ෆෝන් එක
ඩිස්කනෙක්ට් කරල. එයාල වෙන කොහාටද ගිහිල්ල.
පුතා හදිසියෙම එයාගෙ කාර් එක වික්කා.
” තාත්තෙ මම යනව නිව්යෝර්ක් වලට . ට්‍රේනින් එකකට. සති දෙකකට.”
එයා ඇඳුම් බෑග් එක, ලැප්ටොප් එක එහෙම අරගෙන පිටත් උනා.
එදා ඉරිදා දවසක්. මම ටිකක් දවල් වෙන තුරු නිදා ගත්ත.
කවුදෝ දොරට ගහනව. මම ගිහින් බැලුව.
නෝටන් ලෝපෙස්- අපාට්මන්ට් මැනේජර්.
“Your son din’t pay rent. You have to pay or leave the
apartment”
” Can’t you wait? He will be back in two weeks”
” No he is not coming back. He moved to NewYork”
මගේ පුතා අභිනිෂ්ක්‍රමණය කරලා.
පුතා ඉපදුනේ ජයවර්ධනපුර රෝහලේ. මට පනිවිඩේ ලැබෙන කොට හවස
3.00 ට විතර ඇති. සීසර් සැත්කම නිසා පද්මිනීට සිහිය ඇවිත් තිබුනේ නැහ.
පුතා කොට් එකේ හිටියා. අඬ අඬා. මම ඇඟිල්ලෙන් එයාගෙ ලපටි ලා රෝසපාට
කම්මුල් ස්පර්ශ කළා. ඇඬිල්ල නැවතුනා. ළඟ ඇඳක හිටි ගැහැණියක් ” දැක්කද
තාත්ත අඳුර ගත්තු හැටි කීවා. මට අද වගේ මතකයි.
සපරමාදුගෙ කතාව ඇහුවට පස්සෙ මෙතෙක් කල් ජීවිතය ගැන තිබූ
ආසාවන් සේරම වෙනස් වුනා වගේ කියල මට හිතුනා. මම නවාතැනට ගිය ගමන්ම අම්මට
කෝල් කළා. මගෙ තාත්ත ජීවතුන් අතර නැහැ. ෆෝන් එක ගත්තෙ අම්ම.
මම “හලෝ” කිව්වම” ආ මගෙ පුතේ.. දැන් කාල බීලද ඉන්නෙ?
දැන් ඔහේ වෙලාව කීයද?” කියල ඇහුව. මට එක පාරටම ඇඬුම් යන්න ආවා.” ඇයි
පුතාට සනීප නැද්ද?” අම්ම අහනව.” ඔය හිටිය ඇති පුතේ ඉක්මණට ආපහු එන්න”
ෆෝන් කාඩ් එක ඩොලර් පහයි. ඒක ඉවරවෙන තුරුම මම අම්මත්
එක්ක කතා කළා. ඒත් මගේ හිතේ ඇතිවුනු පීඩනය ඉවත් වුනේ නැහැ.”
ඇයි සපරමාදු අන්කල්ට පංසලට යන්න තිබුණනේ?” බුද්ධාගමේ නේද ?
ඔය සිංහළ ඇසෝසේෂන් එකට එහෙම ගියෙ නැද්ද?”
ඒව තියෙන්නෙත් ලොකු මිනිස්සුන්ට විතරයි. ඒවයින් කෙරෙන්නේ
බාස්කට් බෝල් ටූනමන්ට්/ ඩිනර් ඩාන්ස් වගේ ඒව කරන එක විතරයි.
හැමදාම ජොබ් දෙකක් කරල මම ගෙදර එන්නේ කොයි වෙලාවෙද ඇඳට
වැටෙන්නෙ කියල බලා ගෙන. ඒ නිසා මට යාලුවෙක් ආශ්‍රය කරන්නවත්, පංසලකට
පල්ලියකට යන්නවත් බැරි වුනා. මගේ හිතේ තිබූ හීන මාණය නිසා ලංකාවෙ
මිනිස්සු ගැවසෙන තැන් වලට නොයා ඉන්න මම පුරුදු උනා.
මම කීප වතාවක්ම ලංකාරාමයට ගිහින් තියෙනව. ඒ කඨින දවස්
වල. කටට රහට කාල එන්න. මට ජිනානන්ද හාමුදුරුවන්ට මූන දෙන්න බෑ.
මගෙත් එක්ක වැඩ කරන උන් මම නිතරම හෝම්ලස් මෑන් කෙනෙක්
එක්ක කතා කරනව නෝට් කරල. උන් කියන්නේ ඒ මගෙ ඩෑඩ් කියල.
මගේ තත්වයත්, සපරමාදුගෙ තත්වය වගේම බරපතල එකක්. “මටත්
වඩා අබලන් මගෙ හැරමිටිය” කිව්ව වගේ අනේ අපොයි කියල හිත හදා ගන්නව ඇරෙන්න
මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ . ඉඳල හිටල මම කීයක් හරි සපරමාදුට දුන්න.
” ඉතිං සපරමාදු අන්කල්, ආංඩුවෙන් ගානක් හම්බ වෙනව නේද?”
මුලදී මට සෝෂල් සෙකුරිටි ලැබුණා. ඒත් දැන් මට ඉන්න තැනක්
නෑ. ඇඩ්‍රස් එකක් නෑ.
මට හිඟමන් ලැබෙන්නෙ කලාතුරකින්. උන් හිඟමන් දෙන්නෙත් පාට බලල.
” දැන් කොච්චර කල් වෙනවද මෙහෙම වෙල?”
දැනට අවුරුදු 5 කට වඩා .. සමර් එකට නම් ගානක් නැහැ.
වැටිච්ච තැන නින්ද යනව. වින්ටර් එකට අපි ගිහින් දානව කෑම්ප් එකකට.
” ඉතිං අංකල් ගෙ වයිෆ් දැක්කෙ නැද්ද ඊට පස්සෙ?”
ඇයි නැත්තෙ ?
දවසක් මම පාක් එකේ බංකුවක ඇලවෙලා හිටියා. මං දැක්ක හැඩ
රුව හුරු පුරුදු කෙනෙක් පොඩි බබෙක් කාට් එකක දාගෙන පාක් එකට එනව. ඒ
පද්මිනී. දිග කලිසමක් ඇඳල. අඳුරන්නත් අමාරුයි.
මම ඒ වෙනකොටත් හොඳටම ජරා ජීර්ණ වෙලා. මම එයා ළඟට ගියා.
එයා ඇස් උඩ තියා ගත්තා.
” ඔයාට මොකද මේ උනේ?” මම ඔයා හැම තැනම හෙව්වා”
” පුතා මාව දාල ගියා.. ඔයා දැන් කොහේද ඉන්නේ?”
“පොඩි දුවලත් වෙන කොහාටද ගියා. මං හිතන්නෙ ෆ්ලොරිඩා වලට…
බේබි සිටින් කරල පළපුරුද්ද තියෙනව කියල මට සහතිකයක් දීල ගියා.. මම දැන්
ගෙදරක බබෙක් බලාගන්නවා.. ඔයා කොහේද ඉන්නේ ?”
” මට ඉන්න නියම තැනක් නෑ. හුඟක් වෙලාවට ෆ්‍රී වේ එක යට
තමයි නිදා ගන්නෙ”
” ඔයා කෞන්ටි හොස්පිටල් එකකට ගිහින් ඔය තුවාල වලට බෙහෙත් දාගන්න”
ඉස්සර මට ලෙඩක් හැදුනම වැඩියෙන් කලබල වෙන්නෙ පද්මිනී.
මාව බලෙන්ම දොස්තරගාවට ඇදගෙන යනව. ලෙඩේ කියන්නෙත් එයාමයි. හැමදේම වෙනස්
වෙලා.
” මට පරක්කු වෙනව. 5.30 වෙන කොට මේ බබාගෙ අම්ම එනව”
මගේ පපුව හෝස් ගා ගෙන ගියා. හැමෝම වෙන් වෙලා යනව. අපි
ආයෙ කවදා හමුවෙයිද ?
දවසක් මං හම්බ වෙන්න රෑ 12.30 ට විතර සපරමාදු ආව. එයා මට
දුන්න පොලිතින් වලින් ඔතාපු පාර්සලයක්
” සෑම් මහත්තයා මට පොඩි උදව්වක් කරන්න. මේ අපේ ෆොටෝ
ඇල්බම් එක. ඔයාට පද්මිනී අඳුරගන්න අමාරු වෙන එකක් නෑ. ඔය ඇල්බම් එක එයාට
දෙන්න. ඕක ඇතුලේ සල්ලි වගයක් ඇති . ඒකත් එයාට දෙන්න.”
ඔයා ආපහු ලංකාවට යනව කිව්වා නේද ? යන්න…… මේක හොඳ රටක් නෙවි.”
සපරමාදු එදා නම් කතා කලේ සිහි විකලෙන් වගේ.
‘ඔයාට මගෙ වයිෆ් හම්බ උනේ නැත්නම් ඔය සල්ලි වලින්
මහත්තයගෙ අම්මට මොනව හරි අරන් යන්න..”
පහුවදා පාන්දර මට කස්ටමර් කෙනෙක් ඇවිත් කිව්ව ට්‍රෑෂ්
බින් එක ළඟ හෝම්ලස් මිනිහෙක් වැටිල ඉන්නවා කියල. මම විගහට ගිහින් බැලුව.
ඒ සපරමාදු. මම 911 කෝල් කළා.
ටික වෙලාවකින් ඇම්බියුලන්ස් එක ආව. මම වීදුරු කවුලුවෙන්
බලා හිටියා.
සුදු රෙද්දකින් වහපු සපරමාදුගෙ සිරුර ඇම්බියුලන්ස් එකෙන්
කොහාටද අරන් ගියා.
සපරමාදු මැරිලා

යාලුවන්ටත් පෙන්නන්න share කරන්න.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

අපිට අපේ සංස්කෘතිය එපා වෙන වාර අනන්තයිනෙ. ඒ පොඩි පොඩි කරුනු නිසා. නමුත් ලන්කාවෙ ඔය කතාවෙ වගේ කරුනු නොවෙන්නෙ අපේ සංස්කෘතියෙ තියෙන යහපත්කම නිසා. ලස්සන ලන්කාවක ලස්සනකම තියෙන්නෙත් ලස්සන සංස්කෘතියත් එක්ක කියල මතක තියා ගන්න.

Ish

උපුටා ගැනුමකි.
True Love Never Dies & Love is Everything Team.
http://www.facebook.com/true.love.never.dies77
♥♥...♥¸.•**•.Like Page.•**•.¸♥...♥♥ ♬☆☞▶▷ⓛⓘⓚⓔ♥ⓤⓢ◀◁☜☆♬
♥...Like...♥...Comment...♥...Share...♥
D♥ Presents...™©®

Friday, July 18, 2014

නූතන මිනිසුන්ගේ ආදරය සහ ආශාව...

බලන බලන හැම තැනම බූට් පාරවල්. බුකියෙ වෝල් එක දිහා බැලුවම එක්කො කෙල්ලෙක් අඩනව කොල්ල දාල ගියා කියල. නැත්තම් කොල්ලෙක් අඩනව කෙල්ල දාල ගියා කියල. මට පේන විදියට නම් ඔයාල ඔහොම දුක් විදින්න හේතුව ඔයාලගෙම මොඩ කම. අපිට ඈස්, කන්, මොලය, හදවත වගේ ඉන්දියන් ගොඩක්ම ලැබිල තියෙන්නේ ඒ ඔක්කොම පාවිච්චි කරල හරියාකරව කටයුතු කරන්න. අපි ආදරය ගැන කටයුතු කරද්දි හදවතෙන් හරි මොලයෙන් හරි විතරයි කටයුතු කරන්නෙ. එතන‍යි අපිට වරදින්නෙ. අපි දෙකම පාවිච්චි කරල ආදරේ කරන්නෙ නෑ.

අපි හදවතින් විතරක් ආදරේ කලොත්,

* අපේ ආදරවන්තිය හෝ ආදර වන්තය කියන කරන හැමදේම අපි අනුමත කරනව.

* එයා කියන විදියට අපි ජීවත් වෙන්නෙ.

* මේ ලොකෙ ඉන්නෙ එයයි මායි විතරක් කියල හිතනව.

* එයා නැතුව මට ජිවත් වෙන්න බෑ කියල හිතනව.

* දෙන්න පුලුවන් හැමදේම එයාට දෙනව.

නමුත් එයා අපිව දාල ගිය දවසට අපි කිසිම වැඩකට නැති, ජීවිතේ එපා උන, තම්න් ලග මුකුත් නැති පිස්සෙක් හෝ පිස්සියෙක් වෙනව.

අපි මොලෙන් විතරක් ආදරේ කලොත් එහෙම,

* ආදරවන්තයා හරි ආදරවන්තිය හරි ලව්ව අපේ ආශාවල් සියල්ල ඉශ්ට කර ගන්නව.

* සල්ලි ඕනි නම් එයා ගාව තියෙන ඔක්කොම හුර ගන්නව.

* හිතින් අපි ගොඩක් ඉහලට යනව. නමුත් ජීවිතේ ගැන හරියට ඉගෙන ගත්ත දවසට තමන්ගෙ ජීවිතේ ගැන පසු තැවිල තමන් පිස්සෙක් වෙනව.

අපි මොලෙනුයි හදවතිනුයි දෙකෙන්ම ආදරේ කලොත්...

* දෙන්නට දෙන්න අවන්කයි විවෘතයි හින්ද දෙන්නගෙම අඩු පාඩු කතා කරල විසදගෙන ලොකෙට වැදගත් චරිත දෙකක් බිහි වෙනව.

* දෙන්න නොගැලපෙන හේතු තියෙනව නම් ඒව විසඩගෙන ලස්සන ජෝඩුවක් බවට පත් වෙනව.

* ආදරේ කොච්චර ලස්සන දෙයක්ද කියල තෙරුම් ගන්නව. ඒවගෙම ආදරේ තියන ලස්සන විදිනව.

* කොහොමින් කොහොමින් හරි ඉතා ලස්සන, සැපවත්, ආදරනීය ජීවිතයක් ගත කරන්න දෙන්නටම අවස්තාව හම්බෙනව.

මාත් මුලින් හඩවතින් විතරක් ආදරේ කලාම මගේ ආදරේ හැමදාම මන් ලග ඉදියි කියල හිතුව. එත් මට වැරදුන. මගේ ආදරෙ මව දාල ගිහින් ලබන 4 වෙනිදට අවුරුදු 2 ක් වෙනව. දැන් මන් ලග තියෙන්නෙ දුක විතරයි. ඔයාලටත් එහෙම උනොත් කියල හිතලයි ඕව මන් කිව්වේ.

~~ish~~

උපුටා ගැනුමකි.
True Love Never Dies & Love is Everything Team.
http://www.facebook.com/true.love.never.dies77
♥♥...♥¸.•**•.Like Page.•**•.¸♥...♥♥ ♬☆☞▶▷ⓛⓘⓚⓔ♥ⓤⓢ◀◁☜☆♬
♥...Like...♥...Comment...♥...Share...♥
D♥ Presents...™©®

Wednesday, July 2, 2014

ස්ටෙලා...

ස්ටෙලා ගේ වයස අවුරුදු විසි හතයි. බොදු-කතෝලික මිශ්‍ර විවාහයක එකම දියණිය වුණු ස්ටෙලා ඇත්තෙන් ම ලස්සනයි. සිංහලට වඩා,ලංසි කමට ලං වුණු සුදු පාට. කළු ම කළු ඇස්. පිට මැදක් වෙනකම් තිබුණු කොන්ඩෙ. සිහින් උස ශරීරෙ.

ස්ටෙලා රස්සාවල් දෙකක් කළා. දවල්ට රස්සාව කලේ මහජන පුස්තකාලේ. ඒ පිරිසිදු කරන්නියක් විදිහට. ස්ටෙලා ගේ පවුලේ අය දන්නේ, ස්ටෙලා කරන මේ රස්සාව ගැන විතරයි. ස්ටේලාව මම අඳුනගත්තෙත්, පුස්තකාලේ පිරිසිදු කරන්නියක් විදිහට. පුස්තකාලේ පිරිසිදු කරන්න, පිරිසිදුවට ඇඳන් එන ස්ටෙලා,කඩිසරව වැඩෙහි යෙදෙනවා. තමන්ගේ ශරීරෙට වඩා තරමක් ලොකු කමිසයක අතට යටින් ඇදිල එන, කෙට්ටු, සුදු අතකින් කොස්සේ මිට මෘදු, එහෙත් දැඩි ග්‍රහනයකින් අල්ලගෙන, කළු පාට  රබර් සෙරෙප්පු මතුපිටක තියෙන සුදු පාට කකුල්වලින් කඩිසරව, පුස්තකාලේ පුටු, මේස අතරින්, හඬ නො නැගෙන්න ඇවිදන් යන ගමන දිහා බලන් ඉන්න ආස හිතෙනවා.

දවල් දවසේ පුස්තකාලේ පිරිසිදු කළ ස්ටෙලා, රෑටත් රස්සාවක් කළා. පිරිසිදු කරන්නත්, පිරිසිදුවට ඇඳන් එන ස්ටෙලා, ඊටත් වඩා පිරිසිදුවට ඇඳන්, ලෝකෙන් භාගෙකටත් වඩා අපිරිසිදු ම රස්සාවක් විදිහට සලකන රස්සාවක්  කරන්න රෑට පාරට බැස්සා.

ස්ටේලාගේ දෙවෙනි රස්සාව ඔබ දැනටමත් අනුමාන කරලා ඇති. ඔව්,ඔබ හරි.

ස්ටෙලා මුළු පවුලම නඩත්තු කළේ ඒ රස්සාවෙන්. තමන්ගේ දුවගේ අධ්‍යාපනය ඇරෙන්න.

ස්ටෙලා මගෙත් එක්ක මුලින් ම කතා කළේ, මම මහජන පුස්තකාලේ ඉස්සරහ පොකුණ වටේ තියෙන සිමෙන්ති බැම්ම උඩ වාඩි වෙලා පොතක් කියවමින් ඉන්න අතරේ. හෙමින් ළඟට ඇවිත්, "වෙලාව කීයද?" කියල අහපු ස්ටෙලා, ඊළඟට ඇහුවේ, "මම මෙතනින් ඉඳගත්තට කමක් නැත්ද?" කියලා..

ඊට දවස් දෙකකට පස්සේ ස්ටෙලා මට ආයෙමත් හම්බ වුණා. ඒ හවස් වරුවක. ඉන හරියට එල්ලෙන, රෙදිවලින් හදාපු මල්ලකුත් කරේ එල්ලන් මහජන පුස්තකාලෙන් පිටවෙන ස්ටේලාව දැක්කම මම හිතුවේ, විශ්ව විද්‍යාලේ යන ශිෂ්‍යාවක්, පාඩම් කරන්න ඇවිත් කියලා.

තවත් දවස් දෙකකට පස්සේ, ස්ටෙලා මගෙත් එක්ක කතා කළා.

ඒ මහජන පුස්තකාලෙට යාබදව තිබුණු විහාර මහා දේවි උද්‍යානයේදී.

පත්තර කන්තෝරුව ඒ ළඟ ම තිබුණු නිසා, මම ඉඩ ලැබෙන හැම මොහොතක ම වගේ හිටියේ එක්කෝ මහජන පුස්තකාලේ. එහෙමත් නැත්නම් විහාර මහා දේවි උද්‍යානයේ.

හවස ඉර එළියෙන් පට වැටුණු, විහාර මහා දේවි උද්‍යානයේ, තණ පිඩැලි උඩින්, ස්ටෙලා සැහැල්ලුවට ඇවිදන් යනවා. ස්ටෙලාගේ ම කුඩා ප්‍රමාණයේ අනුරුවක් වගේ කෙලි  පැටික්කියෙක්, ස්ටේලාගේ අතේ එල්ලිලා ඇවිදන් එනවා.

ස්ටෙලා මගෙත් එක්ක එක්ක හිනා වෙනවා.
"අද ලයිබ්රි ආවේ නෑ නේද?"
ස්ටෙලා මගෙන් අහනවා.

"නැහැ...අද මම මේ පැත්තට ආවා.."

විහාර මහා දේවි උද්‍යානය ඇතුලේ තියෙන වැවට පිටුපාල, බංකුවක අපි දෙන්න ඉඳගෙන ඉන්නවා.
හැන්දෑ හුළඟ වැව පැත්තේ ඉඳන් ඇවිත්, ගස් අතරින් පෙරිල එන ඉර එළියට දිලිසෙන, ස්ටේලාගේ දුඹුරු පාට කෙස් ගස් අවුස්සනවා. ස්ටෙලාගේ අතින් අල්ලන් ආපු පුංච් ගැහැණු ළමයා, කහ පාට බැලුම් බෝලයක් එක්ක සෙල්ලම් කරනවා.

ස්ටෙලා ඒ ගැහැණු ළමයා එක්ක හිනා වෙනවා. මගෙත් එක්ක හිනා වෙනවා. තමන් එක්කත් හිනා වෙනවා.

"ඔයාගේ නංගි ද?"

"නැහැ, මගේ දුව..."

ස්ටෙලා ගේ "දුව"???

ස්ටෙලා එදා මගෙත් එක්ක හුඟාක් වෙලා කතා කළා.

රත්තරන් පාට ඉර එළිය, රතු පාටට හැරෙනවා. මද රස්නේකුත් එක්ක සැහැල්ලුවට හමාපු හුළඟ, ටිකෙන් ටික, හීතලවෙලා, බර ට හමනවා.
ස්ටෙලා ගේ මෘදු කටහඬින්, නුහුරු සිංහල උච්චාරනයකින්, කතාවක් ඇහෙනවා.

සුරංගනා කතා අහන්න කියාපු වෙලාව. එත් මේ සුරංගනා කතාවක් නෙමෙයි.

ස්ටෙලාගේ අම්මා සිංහල බෞද්ධ. තාත්තා ලංසි. ස්ටෙලා පුංචිම කාලේ හිටියේ, මරදානේ මුඩුක්කුවක.
ස්ටෙලා තාත්තා මැරුණායින් පස්සේ, අම්මා, දෙවෙනි වරට විවාහ වුණායින් පස්සේ, ස්ටෙලා ලා මහල් නිවාස සංකීර්ණයක පදිංචියට එනවා.

ස්ටෙලාගේ ජීවිතයට පිටස්තරයකුගේ ආදරේ මුලින් ම එබිකම් කරන්නේ, වයස අවුරුදු දහසයෙන්.

ඒ වෙත්දී,ස්ටෙලාගේ බාප්පා, රිය අනතුරකින් එක්තැන් වෙලා අවුරුදු එක හමාරකුත්, පවුලට අලුතින් එකතුවුණු නංගිට අවුරුදු හයකුත්, මල්ලිට අවුරුදු තුනකුත් ගත වෙලා, අම්මා රට රස්සාවකට ගිහින් මාස හයකුත් ගත වෙලා.

ඒ ආදරේ තිබුනේ හය මාසය යි. ඒ හය මාසේ ඉවර වෙත්දී, ස්ටෙලාගේ පවුලට තව සාමාජිකයෙකුයි, ස්ටෙලාගේ පුංචි ජීවිතයට ලොකු වගකීමකුයි, ලොකු සමාජ අපවාදයකුයි එකතු කරලා ඒ ආදරේ අතුරුදහන් වුණා.

තියාගන්නවද? නිදහස් වෙනවද??
ස්ටෙලා ගේ හිත දෝලනය වෙන්න පටන් ගත්තා.

තියාගත්තොත්........හුඟක් දේ නැති වෙනවා. අයින්කලොත් ඒ දේවල් ඉතුරු වෙනවා.

අයින් කරන්න ස්ටෙලා තීරණය කළා.

එත්.....
නැති මිනිස්සු ඉල්ලලා දේවාල ගානේ, ඉස්පිරිතාල ගානේ යනවා.
ලැබෙන මිනිස්සු නැති කරගන්න දේවාල ගානේ, ඉස්පිරිතාල ගානේ යනවා.

දෙගිඩියාවෙන් ම කාලේ ගත වුණා.

අව හඳ ටිකෙන් ටික මෝරලා, පුර හඳක් බවට පත් වුණා.

ශරීරෙට දරාගන්න බැරි තරමේ කුසක් දරාගෙන ඇවිදන් යන ස්ටෙලා දැක්කම්,  අසල්වැසියෝ දොරවල වහගන්න පටන් ගත්තා.

මේ සැලකීම ම ලබන තව කෙනෙක් නිවාස සංකීර්ණයේ හිටියා.

ඒ ගුණවතී.
ගුණවතීට දරුවෝ නැහැ.

කිසිම දෙයක්  නොකිව්වේ බාප්පා විතරයි.

කාලය ගත වුණා.
බිලිඳු හිනා හඬක්, නිවාස සංකීර්ණයේ අට වැනි මහලෙන් ඇහෙන්න පටන් ගත්තා.
දා හත් වියැති අම්මා, පුංචි දුවත් වඩාගෙන, බර කිරන්න, එන්නත් විදින්න,, ත්‍රිපෝෂ ගන්න, පෝලිම්වල හිටියා.

දරුවා ව, එක්තැන් වෙච්ච බාප්පා ළඟ තියල, බොහොම අමාරුවෙන් හොයාගත්ත රස්සාවට ගියා.

අම්මා ගෙන් ආරංචියක් නැතිව ගෙවෙන, දෙවෙනි අවුරුද්ද.ගෙදර අග හිඟ කම් ඉහටත් උඩින්.

ස්ටෙලාට නිශාචර රස්සාව හොයල දුන්නේ, පිරිසිදු කිරීමේ රස්සවේදී හම්බ වුණු "අයියා' කෙනෙක්.

රතු පාට ඉර එළිය, අළු පාට ට හැරිලා.  අම්මගේ උකුලේ ඔලුව තියන් නිදියන ඉන්න, සෙල්ලම් කරලා හති වැටුණු පොඩි එකීගේ අතේ වහපු මදුරුවට,අම්මා පහරක් ගැහුවා. පොඩි එකී ගැස්සිලා ඇහැරුණා.

"ගෙදර යමු. රෑ වෙලා..."

මට අහන්න තව හුඟක් ප්‍රශ්න ඉතිරි වෙලා තියෙත්දී, ස්ටෙලා නැගිටලා යන්න ගියා.

විහාර මහා දේවි උද්‍යානය හිස් වෙලා. මමත් බංකුවෙන් නැගිට්ටා.

ස්ටෙලා එයාගේ දුවගේ අතින් අල්ලන් ඈත යනවා මට පෙනුණා.

"මිස්...මිස්..."
කවුද කතා කළා.

නගර සභා නිල ඇඳුමක් ඇඳගත්තු, මාවත් පිරිසිදු කරන්නියක්.

"මිස්... ඔය ගෑනු කෙනා ආස්රේට හොඳ කෙනෙක් නෙමෙයි...මහා වල් ගෑනියෙක්..."
මම නෑහුනා වාගේ ඇවිදන් ආව.

ස්ටෙලා ගියේ මට ප්‍රශ්න කීපයක් ම ඉතුරු කරලා.

ස්ටෙලා එයාගේ ජීවිතේ ගැන හිතන්නේ මොනවද?
එයා කරන දෙවෙනි රස්සාව ගැන, ගෙදර උදවිය දන්නවද?
මේ රස්සාව තව කොයි තරම් කාලයක් කරන්නද?

ඒ හැමදේටම වඩා...

ඇයි එයා මේ කතාව පිටස්තරයෙක් වුණු මට කිව්වේ???

කොළඹ පුරහල ට ඉහළින් කාක්කෝ පියාඹනව. කොළඹ අහස ටිකෙන් ටික කාක්කොන්ගෙන් හිස් වෙලා, වවුල්ලුන්ගෙන් පිරෙනවා.

ස්ටෙලාව මට ඊට පස්සේ කීප වතාවක් ම හම්බවුනත් අර කලින් කියපු ප්‍රශ්න අහන්න මගේ හිත ඉඩ දුන්නේ නැහැ. ඉඩ ලැබුනෙත් නැහැ.
මාස කීපෙකට පස්සේ ස්ටෙලා ව දකින්නත් නැතිව ගියා. රස්සාවෙන් අස් වුණා කියන තොරතුර විතරක් ලැබුණා.

"මම කරන්නේ, මට තියෙන දේ විකුණන්, තනියම කන එක නෙමෙයි....මම එකෙන් ලෙඩෙක් ට  සාත්තු කරනවා. ළමයි දෙන්නෙක්ට උගන්වනවා. කිව්වට විස්වාස කරන්න. ඒ සල්ලිවලින් මම මගේ දුවට පැන්සල් කොටයක්වත් අරන් දීල නැහැ. එයාට වියදම් කරන්නේ, පුස්තකාලෙන් ගෙවන සල්ලි."

ස්ටෙලාගේ හීන් කටහඬ මට තවමත් ඇහෙනවා.

මට ආයෙමත් කවදාහරි, කොහේදී හරි ස්ටේලාව මුණ ගැහෙනවා නම්, එයාට කියන්න දෙයක් මට තියෙනවා.

"කොහේ හිටියත් කමක් නැහැ ස්ටෙලා. සතුටින් ඉන්න. ලෝකේ ඔය ගැන මොන දේ කිව්වත්, ඔයා හොඳ අම්මා කෙනෙක් ඔයාගේ දුවට. හොඳ දුවෙක් ඔයාගේ බාප්පට. හොඳ අක්ක කෙනෙක් ඔයාගේ මල්ලිටයි, නංගිට යි."