Translate

Monday, May 19, 2014

දික්කසාද පෝලිම හෙවත් ලයිසන් ආදරය අවලංගුවීම

දික්කසාද පෝලිම හෙවත් ලයිසන් ආදරය අවලංගුවීම
ලාංකේය සදාචාරය පිළිගන්නේ ..
ලයිසමක් එක්ක එන ආදරය මිස ..
මොලෙන් පටන් ..
අරන් හදවත හරහා ගලන ..
රෝමාන්තික ආදරය නෙමේ .. !!
අපි කවදා ආදරය ආදරය විදියට විතරක් දකීද ...
කවුරු කාට කොහොම කලත් ...
ආදරය .. ආදරය විතරයි ..
එච්චරයි .. !!
නිසදැසක කොටසක් ..
*ආදරය යනු අවබෝධයත් සමඟ ඇරැඹෙන උත්තරීතර හැඟීම් හුවමාරු වීමකි.
*ආදරය යනු ජීවිතයයි ජීවිතය යනු ආදරයයි
*ආදරය යනු කෙනෙකු පිලිබදව සිතේ ඇති වන ලෙන්ගතු හැගීමකි,කෙනෙකු වෙනුවෙන් හදවතින්ම ඇතිවන සැලකිල්ලකි.
*ආදරය යනු පරිත්‍යාගයකැයි කියනු ලැබේ…
*ආදරය යනු මතු පිටින් නොව හදේ ගැඹුරුම තැනින් අතු වී ලේ මස් නහර ඇට මිදුලු වල ලෙයින් කකියන වෙදනාවයි
*ආදරේ කියන්නෙ සිතට ඇතිවන හැගීමක් විතරයි.
*ආදරය යනු යමෙක් අප ජීවිතයට පැමිණ එහි තේරුම කියාදෙනතුරු අපිට වටිනාකමක් නොතේරෙන වචනයකි
*ආදරය යනු අහිමි දෙයක් ලබා ගැනිම
*ආදරය යනු ආත්මාර්තකාමි හැගිමක්
*ආදරේ කියන්නේ මැරෙනකම් එකට ජීවත් වීම
*ආදරේ වෙනුවෙන් ජීවිත් වීම තමයි මම නම් ආදරේ
*ආදරය කියන්නේ අපි දෙන දෙයක් පමණයි, ඒකෙන් ආපසු ලැබීමක් බලපොරොත්තු වෙනවනම් ඒ ආදරය සැබෑ ආදරයක් නෙවෙයි
*අවංක ආදරය කියන්නේ කෙනෙක්ව තමුන්ට හිමිකරගැනීමම නෙවෙයි, තමුන් ආදරය කරන කෙනා සතුටින් ඉන්නව දකින්න තියෙන කැමැත්තටයි,
*ආදරය කියන්නේ සාගරය වගේ . . . සාගරයේ රැළි වගේ . . . සීමාවක් නෑ . . . ප්‍රමාණයක් නෑ . . . සමහර වෙලාවට ආදරය කියන්නේ වේදනාවක්
*ආදරය යනු මිනිස් චෛතසිකයේ ඇති වන අතිශයින්ම විචිත්‍රවත් වූ හැගීමකි.
*ස්ත්‍රීයක් සහ පුරුෂයෙකු අතර ඇති වන සම්බන්ධයක් නිසා හදවතේ ඇති වන අසාමාන්‍ය තත්වයකි.
*ආදරය යනු කියවා නිම කළ නොහැකි ලස්සන පොතකි
*දෙදෙනෙකු අතර ඇති කර ගන්නා වූ දෙපාර්ශවයටම ලාභ පාඩු සමසේ බෙදෙන හවුල් ව්‍යාපාරයකි
*ආදරය කියන්නේ විශ්වාසය මත රඳාපවතින දෙයක්, විශ්වාසය නැති තැන ආදරයකුත් නෑ
*ආදරේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්, අපිට ආදරේ කරන අය අපිට බොහොම ඉක්මනින් නැති වෙනවා, ඒ නිසා ආදරේ කියන්නේ දුකක්, වේදනාවක්
*ආදරය යනු බැඳීම සහ ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රනයක්
*ලිංගික ආකර්ෂණයට අපි පාවිච්චි කරන නම තමයි ආදරය කියන එක.. ආදරය ලිංගික ආකර්ශනයක්ම විතරයි...
*ආදරය යනු නිදි නැති රැයක බෝඳ සිහිනයකි
*සසල සිත මුකුළු කරවන ආදරය යනු මෘදු මද පවනකි
*ආදරය කියන්නේ ලැබෙනකන් බලා ඉන්න ඕනේ දෙයක් නෙවෙයි, පරිත්‍යාග කරන්න ඕනේ දෙයක්
*ආදරය වූ කලී මමත්වය මුළුමනින් ම නැති තැන ඇති වන අවබෝධයකි. - එනම්, මගේ ආත්මය, මගේ දියුණුවට ඇති ආසාව, මගේ තණ්හාව යනාදි වශයෙන් පවතින මමත්වයෙහි සම්පූර්ණ බැහැරවීම ය. - ක්‍රිෂ්ණ මූර්ති
*ආදරය ත්‍රිකෝණාකාරය. ඒ තුළ එකිනෙකට වෙනස් සහ සහසම්බන්ධිතත අංග තුනක් තිබේ. කැපවීම, ජීවිතය විශ්වාසයෙන් බෙදා හදා ගැනීම සහ අනෙකා කෙරෙහි උපන් අනුරාගය යි. මේවායින් කැපකිරීම යනු සබඳතාව සදාකාලික වේය යන බලාපොරොත්තුව තුළින් උපදින්නකි.-මනෝවිද්‍යාඥ රොබට් ස්ටර්න්බර්ග්
*ව්‍යවහාරික මනෝවිද්‍යාඥ ස්කොට් පෙක් කියන්නේ ආදරය යනු අනෙකාගේ අධ්‍යාත්මික වර්ධනය වෙනුවෙන් කැප වීමට ඇති වුවමනාවන්හි එකතුවක් බවයි‍.
ලිංගිකත්වය පදනම් කර ගත් ආදරය කියන්නෙ මොකක්ද කියල හොයනකොට හමුවෙච්ච කතා ගොඩක්..නෑ ටිකක්..තමයි ඔය තියෙන්නේ.. තව ඕන තරම් තියෙනවා.. ඉතින් මේ හැම කතාවකම වගේ කියැවෙන්නේ ආදරය කියන්නේ තව කෙනෙකු ගැන මිනිස් මනසේ ඇතිවෙන බොහොම නිදහස් උතුම් සිතුවිල්ලක් බවයි...ඒ විවිධාකාර වුවමනාවන් ආසාවල් සහිත විය හැකියි.
එහෙත් ගැටලුව වෙන්නෙ මේ කියන කවුරුවත් මේ ලිංගික ආදරයේ සීමා සහිත කම් ගැන නොකිය ඉදීම.. ඇත්තටම ඔය කියන ආදරය අපිට ඇත්තටම විඳින්න මේ සමාජය ඇතුලෙ නිදහසක් තියෙනවද.? නිදහසක් තියෙනව..හැබැයි අදාල කො‍ටුව ඇතුළේ.
ඒ කිව්වේ කෙනෙකු එක වරෙක ආදරය කළ යුත්තේ තව එකම එක් කෙනෙකුට පමණි, දෙන්නෙකුට ආදරය කිරීම පිළිගත නොහැක. විවාහයෙන් පිටත ආදර සම්බන්ධකම් බැරිය. යුරෝපීය විටොරියානු සදාචාරවාදය සිංහල බෞද්ධ සදාචාරය බවට නාමකරණය කරගත් වත්මන් සමාජය එය අනුමත නොකරයි. එනම් කො‍ටු පැනීම තහනම්ය කියන එකයි.
ආදරේ කියන එක ඇත්ත ස්වභාවික මිනිස් හැඟීමක් නම් ඊට තහංචි දැමිය හැකිද. ? සීමාවන් පැන විය හැකිද..? ඒ අනුව මිනිස් හැඟීම් යටපත් කිරීමට නීති හෝ සාරධර්ම නමින් ආගමික සංස්කෘතික තහංචි හෝ පැනවීම අමානුෂික දෙයක් නොවෙද..?
ඉතින් සමහරු කියයි අපිත් සත්තු වගේ ඒ වැඩේ කරන්න ඕනද කියලා.. නෑ.. අපි මේ සත්තුන්ගෙන් වෙනස් වෙන්න කියල හදා ගත්තු සංස්කෘතිය ඇතුලේ අපෙයි සත්තුන්ගෙයි වෙනසක් නෑ කියලයි මං කියන්නේ. මිනිස්සු මේ සංස්කෘතික තහංචි නිසා පීඩවට පත්වෙල තියෙන විදිහෙන් අපි සත්තුන්ටත් වඩා අන්ත තැනකට වැටිල තියෙන්නේ.
පසුගිය දිනවල අහන්න ලැබුනු පුවතකින් කිය උනේ බස්නාහිර පලාතේ විවාහක පවුල් වලින් සියයට පනහක්ම විවිධ හේතු උඩ කැඩී විසිර ඇති බවයි. අද අධිකරණයේ විභාගවන වැඩිම නඩු ප්‍රමාණයක් අයත් වෙන්නේ වෙන්න දික් කසාද හෝ නඩත්තු නඩු ගනයට.....ඉතින්.. නීති රීති වලින් ආදරය යටපත් කළ නොහැකි බවට වෙනත් කතා කිව යුතු යැයි නොසිතමි.
තව කතාවක්...
අපේ යෙහෙළියක්.. ඇය සිය පළමු විවාහයෙන් වෙන් උනා දෙදෙනාගෙම කැමැත්තෙන්.. ඔවුන් දෙදෙනා අදටත් හොඳම මිතුරන්.. අපෙ යෙහෙළිය පසුව තවත් මිතුරෙක් සමඟ ජීවත් වෙන්න ගත්තා.. ඔහු ඊට පෙර විවාහ දෙකකින් වෙන් වූ අයෙක්.. ඔවුන් යම් දිගු කාලයක් ඉතාම ආදරණීය විදිහට ජීවත් උනා. පසුව ඔහු ඇයව හැර ගියා. (කෙටි කාලයකට) ඒ අතර කාලයෙදී ඇය අපූර්ව කතාවක් කිව්වා..
"මේ කාලයේ හැටියට ගෑනියෙකුට තමන්ගේ පවුල් ජීවිතය සාර්ථකව (ලෝකෙට පෙන්න හරි කඩා නොගෙන ) පවත්වාගෙන යන්නනම් මිනිහට පිට යන්න ඉඩ දෙන්න වෙනවා .. එහෙම ඉඩ දුන්නොත් ඒ මිනිහ හැමදාම රෑට ගෙදර එනවා.." ඇය එහෙම කියල තවත් අපූර්ව ගීතයක් ගැන කිව්වා..
ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහයන් විසින් මේ ගීතය ගයන්නේ.. මේක එතරම් ජනප්‍රිය සින්දුවක් නෙවෙයි.. ගොඩක් අය අහලවත් නැතුව ඇති.මේක ලිව්වේ අප අතරින් නැසී ගිය ප්‍රවීණ ගීත රචක රංබණඩා සෙනවිරත්න. කපුගේ ගයන 'දවසක් පැල නැති හේනේ.."අමරසිරි පීරිස් ගයන "ලඳුනේ..' ගීත ලිව්වෙත් ඔහුම තමයි මේ ගීතය සංගීතවත් කළේ අප අතර අද නැති ප්‍රවීණ සංගීත වේදී ප්‍රේමසිරි කේමදාසයන්..
"ඔබ ගෙදර එන්න..." අහන්න බලන්න.. ආදරය කියන්නේ මොකක්ද කියලත් පොඩ්ඩක් හිතන්න.
ඔබ ගෙදර එන්න
පහන් තරුව පායන විටවත්
ඔබ ගෙදර එන්න...
කම් නැත මගෙ කුමරුවනේ
දෑස බොඳ වෙලා තිබුණට
මුව තැවැරුණ දුම සුවඳයි
නිදි බර සුසුමෙන් සුසුමට
ආගිය තැන් නාසන්නෙමි
සංකා නොම ගන්න...
ඔබ ගෙදර එන්න..
කම්පා නැත ලිය වත්සුණු
ඔබේ වත තැවැරී තිබුණට
නාදුනනා කෙහෙ ‍රැහැනක්
සළු පිළි අතරේ ‍රැඳුනට
මට නිදි මත නැත කුමරුනේ
ඔබට බත බෙදන්නට..
ඔබ ගෙදර එන්න...
තෝන්තුවා වෙන්න එපා
ගතම මැලවිලා තිබුණද
උණු දිය සනහා පිසදා
හිස පීරමින් නිදියන විට
තවුසකු සේ සැතපෙනු දැක
මට හැක හින හෙන්න..
ඔබ ගෙදර එන්න....

No comments:

Post a Comment