Translate

Thursday, May 29, 2014

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

ප්‍රෙමය තරම් Off Road යන තවත් දෙයක් නැති තරම්. ප්‍රේමය කියන සංකල්පය තරමක් යන්නේ Off Road. අනියම් ප්‍රේම සම්බන්ධතා, අසම්මත ප්‍රේම සම්බන්ධතා, රහසිගත ප්‍රේම සම්බන්ධතා, ප්‍රේමනීය ලිංගික සම්බන්ධතා, ලිංගිකමය ප්‍රේම සම්බන්ධතා වගේ එක එක විදියට, එක එක හැඩවලට ප්‍රේමය කියන සංකල්පය Off Road යනවා. මිනිසුන්ගේ ස්වභාවික ජීව විද්‍යාත්මක පෙලඹවීම මේ කතන්දරේ පිටිපස්සේ තියෙනවා. කසාද බැඳපු අය කසාද බැඳපු නැති අයට ආදරේ කරනවා.
කසාද බැඳපු නැති අය කසාද බැඳපු අයට ආදරේ කරනවා. විවාහය කියන දේ තමන්ගේ අසම්මත ආදර සම්බන්ධතාවලට බාධාවක් කරගන්නේ නැති අය ඕනෑතරම් ඉන්නවා. තවත් සමහර තරුණයෝ තමන්ට වඩා අවුරුදු ගාණක් වැඩිමල් කාන්තාවන්ට ආදරේ කරනවා. ඒ කෙනාව තමන්ට හිමි නැති බව දැන දැනම ආදරේ කරනවා. ඒ නිසා තමයි මම කිව්වේ ආදරේ... එහෙමත් නැත්නම් මේ ප්‍රේමය කියන දේ ඇතුළේ Off Road ලක්‍ෂණ මදි නොකියන්න තියෙනවා කියලා.
දැන් අපි කතාවට බහිමුකෝ... මේ වෙලාවෙදි අපේ රටේ ජාතික ගීය තමයි සමනල සංධ්වනි ෆිල්ම් එකේ තියන ඉකි ගසා හඬන සින්දුව. ගරිල්ලා මාර්කටිං, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා වගේ උසස් කලා නිර්මාණ කරපු ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂණය කරපු අලුත්ම ෆිල්ම් එක තමයි සමනල සන්ධ්වනිය. මේ ෆිල්ම් එකේ තියෙන ඉකි ගසා හඬන සින්දුවේ එක්තරා වචන පේළියක් මේ දවස්වල මාරම මාර විදියට ජනප්‍රිය වෙලා තියනවා. වයස් භේදයක් නැතුවම මේ වචන පේළිය සමාජගත වුණේ ඒ වචන පේළියේ තියන තේරුමයි තමන්ගේ ජීවිතේ වින්ද අත්දැකීමුයි අතර සමාන බවක් තියන නිසා කියලා මට නම් හිතෙන්නේ. මේ තියෙන්නේ ඒ වචන පේළිය.
"මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා."
මේ වචන පේළිය ජනප්‍රිය වුණේ ඕපපාතික සිදුවීමක් විදියටත්, අහඹු සිදුවීමක් විදියටත් නෙවෙයි. මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා කියන මේ වචන පේළිය මාරම මාර විදියට ජනප්‍රිය වෙන්න බලපාපු සමාජ විද්‍යාත්මක Off Road හේතුවක් තියනවා. මොකක්ද ඒ හේතුව? අපි අතර ඉන්න පිරිමි සහ ගැහැනු අය අතරින් ගොඩක් දෙනකුට තමන්ගේ ජීවිතයේ එක අවස්ථාවකදී හරි තමන්ගේ නොවන තමන්ගේම ආදරයක් තිබිලා තියනවා. සමහර විට ඒ ආදරේ ඒකපාර්ශ්වික ආදරයක් වෙන්නත් පුළුවන්. අනෙක් කෙනා තමන්ට පෙරළා ආදරේ කළේ නැති වුණත් අපිට ඒකපාර්ශ්විකව තවත් කෙනකුට ආදරේ කරන්න පුළුවන්.
සමහර වෙලාවට අනෙක් කෙනා දන්නෙත් නැතිව ඇති අපි ඒ කෙනාට ආදරේ කරනවා කියලා. එයා දැනගන්නම ඕනෙ නෑ. එයා දැනගත්තත් නැතත් අපිට පුළුවන් එයාට ආදරේ කරන්න. මේ වගේ අමුතු අමුතු ආදර කතා ගොඩක් අයට අඩු වැඩි වශයෙන් තියෙනවා. මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා කියලා ඒ අයගේ හදවත් දන්නවා. පස්සේ කාලෙදී ඒ ආදරේ වෙන කෙනෙක්ට හිමිවෙන්න පුළුවන්. මොකද ඉතිං ඒ ආදරේ තමන්ගේ නෙමෙයිනේ.
මොනා වුණත් කොච්චර කල් ගියත් අන්න ඒ අමුතු ආදරේ මිනිසුන්ගේ හදවතේ පතුලේ අස්සවල්වල මුලුවල කොන්වල හැංගිලා තියනවා. හිටපු ගමන් පතුලේ හැංගිලා තියන කතා වස්තුව හිමිං හිමිං ඔළුවා දාලා එබිකම් කරන වෙලාවලුත් තියෙනවා. මම මේ ලියන Off Road කියවන ඔබටත් කවදා හරි දවසක ඔබේ නොවන ඔබේම ආදරයක් තිබිලා ඇති කියලා මම හිතනවා.
සමහරු විවාහකයි. නමුත් ඒ විවාහ වෙලා ඉන්න අයටත් තමන්ගේ බිරියට ස්වාමිපුරුෂයාට අමතරව තවත් ආදරයක් තියෙන අවස්ථා නැත්තේම නෑ. සමහර වෙලාවට තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා. පෙම්වතියන් පෙම්වතුන් විදියට ඉන්න අයටත් තමන්ගේ නොවන තමන්ගේම ආදරයක් තියෙනවා වෙන්න පුළුවන්.
මේ මානසික සිතිවිල්ල ගොඩක් මිනිසුන්ගේ හදවත්වල තියෙන නිසා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා කියන වචන පේළිය තදින්ම හදවතට වදිනවා. ඒ නිසා තමයි ඉකිගසා හඬන සින්දුවේ තියන මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා කියන වචන පේළිය අතිශය ජනප්‍රිය වුණේ. මිනිසුන්ගේ හදවත්වල තියෙන තමන්ගේ නොවන තමන්ගේ ආදර කතාවට සමපාත වෙන්න තරම් සංවේදීත්වයක් මේ වචන පේළියේ තිබුණා.
ඒ නිසා මේ සින්දුව එළියට ආවට පස්සේ මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා කියන වචන පේළිය තමන්ගේ ජීවිතයේ තේමා පාඨය කරගත්ත පිරිසකුත් ඉන්නවා. සමහර ටියුෂන් පන්තිවල ඩෙස් බංකුවලත් මේ පාඨය ලියලා තියනවා. බස්වල සීට් පිටිපස්සෙත් ලියලා තියනවා. ජංගම දුරකතන කෙටි පණිවුඩවලටත් මේ වචන ටික බෝවුණා.
ඒ තරමටම මේ වචන පේළිය මුළු සමාජයටම කි¼දා බැහැලා පත්තියං වෙලා ඉවරයි. ඒකෙන් තේරුම් ගන්න පුළුවන්නේ අපේ සමාජයේ ඉන්න බහුතරයක් දෙනාගේ අත්දැකීම් මොන වගේද කියලා.
මේ ළඟදී දවසක රාජ්‍ය සංගීත සම්මාන උළෙල ගැන ලියැවුණු පුවත්පත් ලිපියක් මම දැක්කා. ඒ ලිපියට අනුව රාජ්‍ය සංගීත සම්මාන උළෙලදී හොඳම ගායකයාට හිමි සම්මානය ලැබුණේ ඉකිගසා හඬන සින්දුව ගායනා කරපු අමරසිරි පීරිස්ටලු. හොඳම සංගීතයට අදාළ සම්මානය ලැබුණේ ඉකිගසා හඬන සින්දුවේ සංගීත සංයෝජනය කරපු දර්ශන රුවන් දිසානායකටලු. ඒත් විනිශ්චය මණ්ඩලයේ තීරණයක් මත හොඳම පද රචනයට දෙන සම්මානේ කාටවත් දුන්නේ නෑලු. එහෙම කළේ සම්මානයක් දෙන්න තරම් සුදුසු ගී පද රචනා මේ උළෙලට ඉදිරිපත් නොවී තිබුණු නිසාලු.
ඒත් මම අර කියපු ලිපියේ රචකයා කියලා තිබුණේ, මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා කියන වචන පේළිය තියෙන ඉකිගසා හඬන සින්දුවේ වචනවලට ඒ සම්මානය දෙන්න වටිනවා වගේ අදහසක්. හොඳම ගී පද රචනයට සම්මානයක් නොදීමට තීරණය කිරීම රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය කරපු ඔළමොට්ටළ ක්‍රියාවක් කියලා තමයි ඒ ලිපිය ලියපු කෙනා කියලා තිබුණේ. ඒ කියන්නේ ඉකිගසා හඬන සින්දුවේ තියෙන මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා කියන වචනවලට සම්මානයක් හම්බ වුණේ නැත්නම් සමහර අයට මල පනිනවා. ඒ තරමටම තත්ත්වය බරපතළයි. ඒ තරමටම තමන්ගේ නොවන තමන්ගේ ආදර කතා මිනිස්සු ළඟ තිබිලා තියෙනවා.
මේකේ තවත් පැත්තක් තියනවා. තමන්ගේ නොවන තමන්ගේ ආදර කතා වෙනුවෙන් බස් හෝල්ට්වලයි, බස්වලයි, කෝච්චිවලයි, සමාජශාලාවලයි, රූම්ස්වලයි, ටියුෂන් ක්ලාස් ළඟයි, ෆිල්ම් හෝල්ස්වලයි චාටර් කාපු අය කොච්චර මේ සමාජයේ ඉන්නවද? ඒ ආදරේ තමන්ගේ නොවන බව දැන දැනම තමයි සමහර කොල්ලෝ මේ ආදරණීය චාටර් එක කන්නේ.
කොල්ලෙක් වෙනුවෙන් මේ වගේ චාටර් කන කෙල්ලොත් ඉන්නවා. තමන්ට අයිති නැති තමන්ගේම ආදරයක් විඳින එක ඇතුළෙත් මොකක් හරි රහක් ඇති. ඒකනේ කොච්චර චාටර් එකක් කෑවත් ඒ ආදරේ අතඅරින්නේ නැතුව අල්ලගෙනම ඉන්නේ. මොනා වුණාත් ඒ වගේ අය කන චාටර් එක දැක්කහම අපිටත් දුක හිතෙනවා. මට මගේ නොවන මගේම චාටරයක් තිබුණා කියලත් ඒ අය කියන වෙලාවල් ඇති. ඒ චාටර් එක ඇතුළේ අමුතුම රහක් හැංගිලා තියෙන්නත් පුළුවන්.
ඒ රහට වශී වුණොත් ඉතිං ඕනම චාටරයක් කන්න ලෑස්තිවෙලා ඉන්න අය ඕනතරම් ඉන්නවා. සමහරවිට තමන්ගේ නොවන තමන්ගෙම ආදර අන්දරවල රස බලන්න ගිහිල්ලා මහා විශාල හානියක් වෙන්නත් පුළුවන්. ඒ නිසා තමන්ගේ නොවන තමන්ගෙම ආදරයක රස බලනකොට ඒක කරන්න ඕනේ ගොඩක් පරෙස්සමෙන්.

No comments:

Post a Comment