Translate

Sunday, June 2, 2013

Cigarettes and Cancer Risk

සිගරට් නමැති මාරක දුම්කොළ පයිප්පයේ පියා වූ කලී
සුරුට්ටුවය. ස්පාඤ්ඤ, පෘතුගීසි, ග්රීක් යන භාෂාවන්ට
අයත් සිගාර් (Cigar) නමැති පැරණි වචනයෙන් සිගරට්
යන වචනය බිහිවී තිබේ. සිගරට් නමැති මාරක
දුම්කොළ පයිප්පයේ පියා සුරුට්ටුව නම් එහි
පුතා පිළිකාවය. මනුෂ්යයා විසින් ශිෂ්ටාචාරය නමැති
ගමන් මගේදී ආරම්භයටම වාගේ සොයාගත් නරකම
දේ දුම්කොළ විය හැකිය. ඔහු ගින්දර
සොයාගත්තේ ඊට පෙරය. ගින්දරත් දුම්කොළත් යන
දෙක එකට එකතු කිරීමට මිනිසා දැනගත්තේ මිනිස්
වර්ගයා විසින් කරන ලද මහත්වූ පාප කර්මයක්
නිසා විය යුතුය.

සාමන්යෙන් සෑම තප්පර 5 කටම වරක් දුම්වැටි
මාරයාට අයෙක් බිලිවේ.  31 දා ලෝක
දුම්වැටි විරෝධී දිනයයි. අද දුම්වැටිවලට එරෙහිව
ලෝකය පුරාම විරෝධතා ව්යාපාර අන් කවර
කලෙකටවත් වඩා බුර බුරා නැඟ එයි. බොහෝ රටවල
දුම්වැටි ප්රචාරණය තහනම්ය. දුම්වැටි මගින් පිළිකාව
හා හෘදය රෝග වැළඳීමට ඇති ඉඩකඩ ගැන දැනුවත්
කෙරෙන පාඨ දුම්වැටි පැකට්ටුවේ මුද්රණය කිරීම
බොහෝ රටවල බල පවත්වන නීතියකි. දුම්වැටිවල
ජනප්රිය වෙළෙඳනාම සඳහන් නොකර සිගරට්
යනුවෙන් පමණක් මුද්රණය කර විකිණීම
සඳහා වුවමනා නීති රීති මහා බ්රිතාන්යය විසින්
සම්පාදනය කෙරෙමින් පවතී. මුඛ පිළිකාවල කොටස්
දුම්වැටි පැකට්ටුව මත ප්රදර්ශනය කිරීම සඳහා මෙරට
දුම්වැටි නිෂ්පාදකයන්ට නියම කෙරෙන නීති දැනටමත්
සකසා අවසන්ය. තම අනාගතය ඉතා නරක
අවදානමකට පත්ව ඇති බව දුම්කොළ සමාගම්ද
පිළිගෙන තිබේ. ඒ නිසා ඔවුහු දැන් තම ධනය
වගා ව්යාපාර, රක්ෂණ කර්මාන්තය වැනි අංශවල
යොදවති. ඒ අතර අවසානය දක්වාම දුම්වැටි
කර්මාන්තයෙහි එල්ලී සිටින්නටද උත්සාහ කරති.

ප්රසිද්ධ ස්ථානවල දුම්වැටි ඉරීම රටවල්
බොහොමයකදී තහනම්ය. ලංකාවේද එය තහනම්
නමුත් මිනිස්සු ඒ නීතිය සත පහකට ගණන්
ගන්නේ නැත. ප්රසිද්ධියේ දුම් බීමේදී දුම්බොන
එකාගේ පෙනහැල්ල කුණුවන අතරම දුම් නොබී ඌ
පසෙකින් සිටින එකාද අර කාලකන්නියා පිටකරන
කාලකන්නි දුම නිසා පෙනහැල්ල කුණු කර ගනී.
ප්රසිද්ධියේ දුම්බොන අය අල්ලා හිරේ දැමීම
රජයේ යුතුකමකි. පෙනහලු පිළිකා ඇති කර මිනිසුන්
මැරීමට තැත් කිරීම මෙහිදී චෝදනාව වශයෙන් පාවිච්චි
කළ හැකිය.

දුම්බීම සහ පෙනහලු පිළිකා අතර සම්බන්ධයක් ඇති
බව මුල්වරට
සොයා ගන්නෝ හිට්ලර්ගේ කාලයේ සිටි
වෛද්යවරුය. මේ අනුව දුම්කොළ විරෝධී
ව්යාපාරයක් දෙවැනි ලෝක යුද සමයට පෙර නාසි
ජර්මනියේ ඇති විය. එහෙත් දෙවැනි ලෝක යුද්ධයේදී
සොල්දාදුවන්ගේ ආහාර සලාකයට සිගරට් ඇතුළත්
කිරීම නිසා ඒ ව්යාපාරය යට ගියේය. 1975 දී
ඇමරිකාව තම සෙබළුන්ගේ ආහාර සලාකයට සිගරට්
ඇතුළත් කිරීම නැවැත්වීය. කැනඩාව, මෙක්සිකෝව,
බෙල්ජියම, ස්වීඩනය, තායිලන්තය, මැලේසියාව,
ඉන්දියාව, පාකිස්තානය, ඔස්ටේ්රලියාව, චිලිය,
නෙදර්ලන්තය යන රටවල් දුම්පානය අධෛර්යමත්
කිරීම සඳහා ග්රැෆික් චිත්ර මාර්ගයෙන් ජනතාව
දැනුවත් කිරීමේ ව්යාපාරයක් දියත් කර ඇත. භූතානය
වැනි කුඩා රටක් පවා දුම්වැටිවලට එරෙහිව පුළුල් සහ
ශක්තිමත් නීති පනවා තිබේ. වසර 2010 දී එරට
සම්මත කර ගන්නා ලද දුම්කොළ පාලන පනතට
අනුව දුම්කොළ වැවීමේ සිට විකිණීම දක්වා සියලු
කටයුතු නීතියෙන් තහනම්ය. වසර 2025 වන විට තම
රට දුම්වැටි සහ දුම්කොළවලින් සම්පූර්ණයෙන්ම
විනිර්මුක්ත කිරීමට නවසීලන්තය කටයුතු
යොදා තිබේ. පින්ලන්තය මේ ඉලක්කයට
යන්නේ වසර 2040 දීය.

දුම්වැටි මර්දනය කිරීම සඳහා යම් ප්රමාණයක නීති
රීති ශ්රී ලංකාවේද තිබේ. එහෙත් ඒවා දුම්බීමට
එරෙහි ව්යාපාරයක් පවත්වාගෙන යැම සඳහා තිරසාර
ලෙස යොදාගැනීමට තරම් පණ මදිය. එයට හේතුව,
සිගරට් කොම්පැණිය ශ්රී ලංකාවේ බදු ආදායමට
දක්වන සුවිශාල දායකත්වය විය යුතුය. අප කටයුතු
කරන මන්දගාමී පිළිවෙළට අනුව ක්රි.ව. 2500 දීවත්
ශ්රී ලංකාව දුම් පානයෙන් විනිර්මුක්ත කළ
නොහැකිය. සමහර විට මීළඟ ලෝක විනාශයට
දෙසතියකට පමණ පෙර එම තත්ත්වයට පත් වීමට
අපට හැකි වනවා ඇත.

No comments:

Post a Comment